දෙල් ගස ගැන දත යුතු දේ
දෙල් ගැන අපි අසා ඇත්තෙමු. යමක් වැරදී ගෙන එන විට අපේ ඇත්තන් කියන්නේ වැඩේ දෙල්වන්නයි යන්නේ කියාය. මෙය දෙල් ගැන සඳහන් ප්‍රකට කියමනකි. අප මෙසේ කියන්නට යන්නේ ගාලු කොටුවේ පිහිටි ඓතිහාසික දෙල්ගහ ගැනය. මේ දෙල්, වල්දෙල්, බැදි දෙල් හා රට දෙල් යනුවෙන් වර්ග කිහිපයකි. මෙරටට හඳුන්වා දුන් රට දෙල් ගසේ මව් ශාකය ගාල්ල කොටුවේ වරාය නිවාඩු නිකේතනය අසල පිහිටි මෙම දෙල්ගස බවද පැවසේ. ලන්දේසින් ඕලන්දයේ සිට ලංකාවට දෙල් ගෙන එනු ලැබුවේ සිංහලයන්ගේ ශක්‌තිය හීන කරලා කුසීත ජාතියක් කිරීමට බව අපේ ඇත්තෝ පවසති. ඒත් අපේ ඇත්තන් බල මාළුවල උෂ්ණාධික බව බාල කරන්නට බල මාළුÊඑක්‌ක පොල් කෑමට පුරුදුවී සිටියහ. අපේ අය ලන්දේසින්ගේ දෙල් කෑමටත් පොල් භාවිත කරපු නිසා ලන්දේසින්ගේ උපාය අසාර්ථක වුණා යෑයි අදටත් ගාල්ලේ ගැමියෝ කියති. ලංකාවේ පැරණිතම රට දෙල්ගස මෙම දෙල්ගස බවටද මතයක් පවතී. ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ හිටපු භාණ්‌ඩාගාරික නීතිඥ හේමන්ත සිටුගේ මහතා මේ ගැන කීවේ මෙසේය.
දේවපතිරාජ ඇමැතිවරයාගේ කාලයේ කොස්‌ගොඩ මහා දෙල් වනයක් තිබිලා තියෙනවා. ජූජාවලියේ 15 වැනි පරිච්ඡේදයේ ඒ බව සඳහන් වෙනවා. ගම් දෙල් වනයක් කළා කියා තියෙනවා. ඒ කාලයේ කොස්, ගම් දෙල් තිබුණා. නමුත් රට දෙල් ගැන සඳහනක් නැහැ. ඒ නිසා රට දෙල් අපේ රටට හඳුන්වා දුන් ශාකයක් බවට විවාදයක් නැහැ. පෘතුගී්‍රසි හා ලන්දේසි පාලන කාලවලදී තමයි මේ රට දෙල් ගස හඳුන්වා දෙන්න ඇත්තේ. වහල්ලුන්ට කන්න දෙන්න කෑමක් හැටියට රට දෙල් හඳුන්වා දුන් බවටත් මතයක් තියෙනවා.
ගාලු ඉතිහාසය පොත ලියපු විලියම් සිල්වා කියා ඇත්තේ බලකොටුවල ගොඩනැගිලි ඉදි කරන්න කොස්‌ගස් කපලා දැව ලබාගත් බවයි. කොස් කියන්නේ අපේ බත් ගස. කොස් ගස් කැපීම නිසා අහාර අහේනියක් ඇතිවුණා. ඉන් පසු ලන්දේසින් විසින් ඉන්දුනීසියාව බතාවියෙන් ගෙනවිත් මෙරටට රට දෙල් හඳුන්වා දුන්නා කියලා කියනවා.
කපිතාන් විලියම් බ්ලයි බවුන්ට කියන නෞකාව යාත්‍රාකරගෙන එමින් සිටියදී පැසිපික් සාගරයේදී කැරැල්ලක් ඇති වෙලා නැව මූදු බත් වෙලා තියෙනවා. නැවේ තිබූ දෙල් පැළයක අංකුරයකින් මෙම දෙල්ගස හටගත් බවටත් මතයක් තිබෙනවා. 70 ගණන්වල මේ දෙල්ගස මැරෙන්න ගිහින් තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තමයි ඒ අවස්‌ථාවේ මේ දෙල්ගස බේරාගෙන තියෙන්නේ යෑයිද හේමන්ත සිටුගේ මහතා කීවේය.
ගාල්ල ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි