Tuesday, August 21, 2018

ග්‍රන්ථ විවරණය, ඕමාර් කයියාම්ගේ රුබයියාට්, සන්ධ්‍යා කුමුදුනී සුභසිංහ,සුලේඛා ප්‍රකාශකයේා, ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ හිටපු ගරු භාණ්ඩාගාරික නීතිවේදී හේමන්ත සිටුගේ.



ග්‍රන්ථ විවරණය

ග්‍රන්ථයේ නම:              ඕමාර් කයියාම්ගේ රුබයියාට්

පරිවර්තක:                   සන්ධ්‍යා කුමුදුනී සුභසිංහ

ප්‍රකාශනය:                   සුලේඛා ප්‍රකාශකයෝ

ග්‍රන්ථ විවරණය:           ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ හිටපු ගරු භාණ්ඩාගාරික නීතිවේදී හේමන්ත සිටුගේ.

විද්‍යුත් ලිපිනය:             hsituge@gmail.com

බ්ලොග් අඩවිය:            https//Hemantha Situge@blogspot.com

සන්ධ්‍යා කුමුදුනී සුභසිංහ මිය විසින් පරිවර්තනය කරන ලද කාව්‍ය ග්‍රන්ථය  "ඕමාර් කයියාම්ගේ රුබයියාට්" සුලේඛා ප්‍රකාශයක් ලෙස මෑතකදී මා හට මිලදී ගෙන එය රසවිඳීමට හැකි විය.
"රුබයියාට්" යන්නෙහි අරුත සතර පද පද්‍යය යන්නයි. ගී පොතයි, මී විතයි, ගැහැණියයි ආත්මීය කොට ගත් ජීවන දර්ශනයක් වෙනුවෙන් අපූරු නිර්මාණ බිහිකළ පර්සියානු දාර්ශනික ඕමාර් ඛයියාම්ගේ කාව්‍ය සංකල්පනා රැගත් "රුබයියාට් " අනර්ඝ විශ්ව පද්‍ය සාහිත්‍ය කෘතියකි. එඩ්වඩ් ෆිට්ස් ජෙරල්ඩ් 1859 වර්ෂයේදී ඕමාර් ඛයියාම්ගේ පර්සියානු පද්‍ය ඉංග්‍රීසි බසට නැඟුවේ නිදහස් පද්‍ය රචනා ක්‍රමයට අනුව නොවේ. ඔහු ඉංග්‍රීසි කාව්‍ය සම්ප්‍රදායට අනුචිත වෙමින් සතර පද පද්‍ය ලියමින් එම කාව්‍ය ඉංග්‍රීසි පාඨකයා අතරට ගෙන එන ලදී. ඔහුගේ දෙවන මුද්‍රණය 1868 වර්ෂයේද තෙවැන්න 1872 ද, සතර වැන්න 1879 දීද පස්වැනි ඉංග්‍රීසි මුද්‍රණය 1889 වර්ෂයේදී නිකුත් වූ අතර, පළමු මුද්‍රණයේ පැවති කවි හැත්තෑ පහ පස්වන මුද්‍රණය වන විට එකසිය එක දක්වා වැඩිව පැවතීම එම ඉංග්‍රීසි කාව්‍ය ග්‍රන්ථ සංස්කරණයන්හි පැවති සුවිශේෂි කරුණක් විය.

  ඕමාර් ඛයියාම්ගේ රුබයියාට් මුල් වරට සිංහල පාඨකයා අතරට කාව්‍ය ග්‍රන්ථයක් "ඕමාර් ඛයියාම්ගේ රුබය්යාට්ලෙස ගෙන ඒමේ කර්තව්‍යයට දායක වීමේ ගෞරවය හිමි වන්නේ ජී.බී.සේනානායක ශූරීන්ටය. 1954 දී පළ වූ එය කොළඹ මැකලම් පොත්හල මඟින් කරන ලද ප්‍රකාශනයක් විය. 2006 වර්ෂයේදී එහි ගොඩගේ තෙවන මුද්‍රණය නිකුත් විය. ග්‍රන්ථයේ ඒ ඒ කවි වලට අදාළ පරිශිෂ්ටයක් එහි පවති.

සිංහල සාහිත්‍ය අඹර දිග් විජය කළ මහගමසේකරයන් අතින්ද රුබයියාට් කාව්‍ය පරිවර්තනය වී තිබුණද සේකරයන් කවර හේතූන් නිසා හෝ තම පරිවර්තනය 1960 අග දශකයේ "රසවාහිනී" සඟරාවේ පළ කළද පරිවර්තන කාව්‍යයක් ලෙස එළි දැක්වූයේ නැත. මහගමසේකරයන් කේ. ජයතිලකයන් හා එක්ව 1960 වර්ෂයේ ප්‍රදීපා ප්‍රකාශනයක් ලෙස පළ කරන ලද "ව්‍යංගා" හි සේකරයන්ගේ දහතුන්වන කාව්‍ය රුබයියාට් වේ. බලන්න: 2009 10 වන මුද්‍රණය 40 - 1 පිටු. ඉන් අනතුරුව සිංහල පාඨකයා හට මේ කවි ගැන දැන ගැනීමට ලැබුණේ මහගමසේකරයන්ගේ අභාවයෙන් පසු  ධර්මසිරි ගමගේ මහතා කතුකම් කළ "යොවුන් ජනතා" පුවත් පතේ පළ 1983 ජනවාරි 25 වන දින වූ කවි ඇසුරිනි. එනම්,

                        අරුණාලෝකයේ වමත
                        අහස දිගේ ඇදෙන කලට
සිහින ලොවේ සිටි මා හට
අවන්හලේ ගොස අතරින්
මේ හඬ ඇසුණා
ජීවිතයේ සුරා බඳුන
සිඳිලා යන්නට පළමුව
කුඩාවුනේ අවදිවෙයව්
අවදි වෙලා එය පුරවව් ලෙසිනි.

ඕමාර් ඛයියාම්ගේ රුබයියාට් කාව්‍ය ග්‍රන්ථයක් ලෙස දෙවනුව පළ වූයේ මඩවල එස්. රත්නායක ප්‍රවීණ කවියාණන්ගෙනි. 1970 වර්ෂයේදී මුද්‍රණ ද්වාරයෙන් ගුණසේන මුද්‍රණයක් ලෙස නිකුත් වූ එය 2000 වසරේදී සංශෝධිත සතරවෙනි මුද්‍රණය ගුණසේන මඟින්ම නිකුත් විය.  ෆිට්ස් ජෙරල්ඩ්ගේ සියලු මුද්‍රණ වලින් කවි අනූ තුනක් එහි පරිවර්තනය වී ඇත.

රුබයියාට් කාව්‍යයේ තෙවැනි සිංහල පරිවර්තන ග්‍රන්ථය "ඕමාර් ඛයියාම්ගේ රුබයියාතය" නමින් සූරිය ප්‍රකාශනයක් ලෙසින් මහාචාර්ය විනී විතාරණ ඇඳුරාණන්ගේ නිමවුමක් ලෙස 2002 -12-29 වන දින නිකුත් විය. ෆිට්ස් ජෙරල්ඩ්ගේ දෙවන මුද්‍රණය ඇසුරෙන් එහි කවි එකසිය දහයක් අඩංගු විය.

අබ්දුල් කාදර් ලෙබ්බේ විසින් කරන ලද රුබයියාට් දෙමළ භාෂා  පරිවර්තනයක්  "උමාර් කයියාමින් රුබයියාට් ඕමාර් ඛයියාම් නමින් බණ්ඩාරවෙල මනිකුරාල් පතිප්පකම් මඟින් 1965 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලදි.

සන්ධ්‍යා කුමුදුනී සුභසිංහ ලේඛිකාව අතින් මීට වසර දහතුනකට පෙර පරිවර්තනය වී ඇති "ඕමාර් කයියාම්ගේ රුබයියාට්" කාව්‍යය සතර වන රුබයියාට් පරිවර්තන කාව්‍ය ලෙස සිංහල කාව්‍යයට එක් කරන ලද තවත්  මාහැඟි කෘතියකි. මේ කාව්‍ය පරිවර්තන 5 ටම පොදු එක් ලක්ෂණයක් පවති. ඒ ඔවුන් විසින් යොදා ගන්නා ලද ඉංග්‍රීසි කාව්‍ය ග්‍රන්ථය එඩ්වඩ් ෆිට්ස් ජෙරල්ඩ්ගේ පරිවර්තනය වීමත්ය. එයින් සුභසිංහ මියගේ පරිවර්තනයේ ඔහුගේ පළමු මුද්‍රණයේ කවි හැත්තෑපහක් අඩංගු වේ. සුභසිංහ කිවිඳියගේම නිමැවුමක් ලෙස ඇගේ ග්‍රන්ථයේ කවර චිත්‍රය විචිත්‍රවත්ව ඇත. අන් පරිවර්තන වල නොමැති සුවිශේෂි කරුණක් වන්නේ තමන්ගේ සිංහල පරිවර්තනය සමඟ ඉංග්‍රීසි කවියද ඇතුළත් කොට තිබීමය.

මුල් ඉංග්‍රීසි කවියේ පවතින රිද්මයානුකූල බව එලෙසම සිංහල කවියේදීද රැක ගැනීමට ඈ දරා ඇති ආයාසය සාර්ථකව ඇති බැව් පෙනේ. ඇගේ බස සරලය; සුගමය. සියවස් ගණනාවක් තුළම "ඕමාර් කයියාම්ගේ රුබයියාට්" රොමෑන්තික  හුදකලා බව නිසා දිනා ගත් ජනප්‍රසාදය එලෙසම සිංහල පාඨකයා අතරට ගෙන ඒමට ඇය දරා ඇති ප්‍රයත්නය පරිණත ප්‍රවීන කිවිඳියක, පරිවර්තිකාවකගේ කෘතියක් බව  "ඕමාර් කයියාම්ගේ රුබයියාට් මඟින්  පෙන්නුම් කර ඇත්තීය.

1 comment:

  1. මගේ ප්‍රසාදය ඔබට ! ..

    - නොයෙල් හැරල්ඩ් මඩවිට විතාන ආරච්චි -

    ReplyDelete